Skip Ribbon Commands
Skip to main content
මුල් පිටුව :: බදු වර්ග :: ඉදිකිරීම් කර්මාන්ත ඇප අරමුදල් බද්ද (CIGFL)
 

ඉදිකිරීම් කර්මාන්ත ඇප අරමුදල් බද්ද 

ඉදිකිරීම් කර්මාන්ත ඇප අරමුදල් බද්ද (CIGFL) 2005 අංක 5 දරණ මුදල් පනතේ III වැනි කොටසින් මුලින්ම හඳුන්වා දෙන ලදී.​

පැනවීම

නියමිත, යෝග්‍ය අනුප්‍රමාණයක් යටතේ ශ්‍රී ලංකාවේ බලාත්මක වන “යම් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවක වටිනාකම” මත යම් “ඉදිකිරීමේ කොන්ත්‍රාත්කරුවෙකු” හෝ “උප කොන්ත්‍රාත්කරුවෙකු ” විසින් ඉදිකිරීම් කර්මාන්ත ඇප අරමුදල් බද්ද ගෙවිය යුතු වේ.

කෙසේ වුවද, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද යම් නිශ්චිත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා 2011 ජනවාරි 1 වන දින සිට සහ එදිනට පසුව එළැඹි කොන්ත්‍රාත් සම්බන්ධයෙන් යම් ඉදිකිරීමේ කොන්ත්‍රාත්කරුවෙකු විසින් තම කොන්ත්‍රාත් වටිනාකම මත එළැඹිය හැකි සහ ශ්‍රී ලංකාවේදී බලාත්මක විය හැකි යම් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවක් මත ඉදිකිරීම් කර්මාන්ත ඇප අරමුදල් බද්ද අය නොකළ යුතුය. (2011 අංක 15 දරණ මුදල් (සංශෝධන) පනතේ IV කොටස)

ලියාපදිංචිවීම
  1. ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් හෝ උප කොන්ත්‍රාත්කරුවන් - බද්ද ගෙවීමට යටත් නම්, දෙපාර්තමේන්තුවේ රඳවා ගැනීමේ බදු අංශය වෙතින් ලියාපදිංචි අංකයක් ලබා ගත යුතුය.
  2. ​කොන්ත්‍රාත්කරුවනට හෝ උප කොන්ත්‍රාත්කරුවනට (කොන්ත්‍රාත් ලබන්නා) ගෙවීම් කරන තැනැත්තන් හෝ හවුල් ව්‍යාපාර විසින් ඉදිකිරීම් කර්මාන්ත ඇප අරමුදල් බද්ද අඩු කිරිමට පෙර දෙපාර්තමේන්තුවේ රඳවා ගැනීමේ බදු අංශය වෙතින් ලියාපදිංචියක් ලබාගත යුතුය.
අනුප්‍රමාණයන්
කොන්ත්‍රාත් අගය අනුප්‍රමාණය
රු. මිලියන 15ට අඩු ශූන්‍ය
රු. මිලියන 15ට වඩා නොඅඩු නමුත් රු මි.50ට අඩු 0.25%
රු.මිලියන 50ට වඩා නොඅඩු නමුත් රු.මි.150ට වඩා අඩු 0.5%
රු.මිලියන 150 හෝ ඊට වැඩි 1%
ගෙවීම්

කොන්ත්‍රාත් හිමියා (ගෙවන්නා) විසින් රඳවාගන්නා ලද බද්ද

ගෙවන්නා විසින් අඩු කරන ලද ඉදිකිරීම් කර්මාන්ත ඇප අරමුදල් බද්ද, එම බද්ද අඩු කරන ලද මාසයෙන් පසුව එළඹෙන මාසයේ 15වැනි දින හෝ එදිනට පෙර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ප්‍රේෂණය කළ යුතුය.

ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් හෝ උප කොන්ත්‍රාත්කරුවන් විසින් ගෙවිය යුතු බදු

ඉදිකිරීම් කර්මාන්ත ඇප අරමුදල් බද්දට (CIGFL) යටත්වීම එම ගෙවීම් කරන අවස්ථාවේදී පැන නගී. ඉදිකිරීම් කර්මාන්ත ඇප අරමුදල් බද්ද (CIGFL) අඩුකිරීමේ සහතිකයෙන් සහතික කරන ලද පරිදි ගෙවන්නා විසින් අඩුකරන ලද ඉදිකිරීම් කර්මාන්ත ඇප අරමුදල් බද්ද (CIGFL) හිලව් කිරීමෙන් පසුව එළඹෙන මාසයේ 15 වන දින හෝ එක් එක් මාසයට අදාළ ගෙවීම් (ඇත්නම්​ ) කළ යුතුය.

එකතු කරන ක්‍රමය

2009.04.01 දින සිට බලාත්මක වන -

රඳවාගැනීමේ බදු යාන්ත්‍රණය ඉදිකිරීම් කර්මාන්ත ඇප අරමුදල් බද්දට (CIGFL) අන්තර්ගත කරන ලදී. (2009 අංක 18 දරණ මුදල් (සංශෝධන ) පනත මඟින් හඳුන්වාදෙන සංශෝධනය ප්‍රකාරව). ඒ අනුව, යම් ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙකුට හෝ උප කොන්ත්‍රාත් කරුවෙකුට රු. මිලියන 15කට නොඅඩු යම් ගෙවීමක් කරන යම් තැනැත්තකු හෝ හවුල් ව්‍යාපාරයක් විසින් 2009.04.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ,වටිනාකම මත පදනම්ව නිශ්චිත අනුප්‍රමාණයක් යටතේ ඉදිකිරීම් කර්මාන්ත ඇප අරමුදල් බද්ද (CIGFL) එම ගෙවීමෙන් අඩුකළ යුතුය.

අර්ථ නිරූපනය

"ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු" යන්නෙන් යම් ලන්සුවක  කොන්ත්‍රාත්කරු වශයෙන් නම් කරනු ලැබූ තැනැත්තා හෝ තැනැත්තන් හෝ සංවිධනය හෝ සංවිධාන නැතහොත් එම ගිවිසුමේ නියමයන් යටතේ සිදු කරනු ලබන ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කිරීම, සම්පූර්ණ කිරීම සහ පවත්වාගෙන යාම සඳහා වගකිවයුතු තැනැත්තෙකු හෝ සංවිධානයක් වශයෙන් සේවායෝජකයා විසින් අන්‍යාකාරයෙන්  පිළිගනු ලබන තැනැත්තන් හෝ සංවිධානයක් අදහස් කෙරේ."

"කොන්ත්‍රාත් වටිනාකම" යන්නෙන්  පිලිගැනීමේ ලිපියෙහි  සඳහන් වන්නා වූද ගිවිසුමේ විධිවිධාන වලට අනුකූලව ඉන්පසු වෙනස් කරනු ලබන්නා වූද මුදල හෝ මුදල් අදහස් වේ.  එම කොන්ත්‍රාත් වටිනාකම වනුයේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එළඹ ඇති එක් එක් කොන්ත්‍රාත්තු හෝ කොන්ත්‍රාත් කීපයක මුලු එකතුව වන අතර උප කොන්ත්‍රාත් වටිනාකම, සැපයුම් කොන්ත්‍රාත් වටිනාකම් සහ වැඩ කටයුතු ඉටු කිරීමේ දී දැරීමට සිදුවන වෙනත් ඉදිකිරීම් වියදම් ද   ඊට ඇතුලත් වේ.  ​​

අවසන් වරට යථාවත් කිරීම : 24-05-2015