Skip Ribbon Commands
Skip to main content
මුල් පිටුව :: අප පිළිබඳව :: දේශීය ආදායම් ඉතිහාසය :: පුරාතන ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය​
 

​පුරාතන ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය​

ඵෙතිහාසික වාර්තා, ශිලා ලේඛන සහ පැරණි ලේඛණගත සාහිත්‍ය තුළින් ක්‍රිස්තු වර්ෂයට පෙර කාලයේ සිට වර්තමාන බදු ක්‍රමය හඳුන්වාදීම දක්වා රටෙහි පැවති සංවිධිත බදු ක්‍රම පිළිබඳව බොහෝ තොරතුරු අප වෙත ලබාදෙයි.   ක්‍රි:ව: 3 වන සියවසේ සිට ශිලා ලේඛනමය වාර්තාවන්ට අනුව, කෘෂිකාර්මික කාර්යයන් සඳහා යොදා ගැනුනු ජලය සඳහා ගෙවන ලද බදු සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් වන අතර රජය වෙනුවෙන් නිලධාරීන්  විසින් බදු එකතු කරන ලදී. මෙම බදු "දෙකපති -Dakapathi" , හා "බෝජකපති - Bojakapathi" ලෙස හැඳින්වීය.

බදු රැස්කිරීමේ යාන්ත්‍රණය, බදු රැස්කිරීමේ කාර්යභාරය, එකී නිලධාරීන්ගේ තනතුරු නාමයන් යනාදිය හැරුනුකොට, එක්රැස් කරගන්නා ලද බදු උපයෝජනය කරගන්නා ලද්දේ කවර අරමුණු සඳහාද යන්න පිළිබඳව ද තොරතුරු එකී ශිලාලේඛනමය වාර්තාවන්හි සඳහන් වේ.   එමෙන් ම කානිය - (Kaniya), කන්නික - (Kannika) සහ ඇතන - (Athana) යන ඒවා බදු රැස්කරන ලද ස්ථාන වූ අතර ඈත අතීත කාලයේ පටන් ම අන්තර්ජාතික වෙළෙඳාම සමෘද්ධිමත්ව පැවති බැවින්, ශ්‍රීලංකාවේ (ඉන්දියාවේ සිට ආර්ය ජනපදිකයන් පැමිණී කාලයේ සිට පවා )  ආනයන හා අපනයන කටයුතුවල දී බදු රැස්කරන ලද නිලධාරීන් මෙහි සිට ඇත.  එලෙස ආනයන හා අපනයන බදු මහාතිත්තයේදී (Mahatitta ) (මන්නාරම) - රැස්කිරීම සඳහා වගකිවයුතු වූ "මහාපටුලද්ද - (Mahapatuladda)" නම් වූ නිලධාරීන් අනුරාධපුර යුගයේ දී සිටි බවට හෙළිදරව් වේ.   එහිදී  මුතු (Pearl) විදේශ විනිමය ඉපයීමේ ප්‍රධාන මූලාශ්‍රයක් විය. ආනයන හා අපනයන  කිරීමේ දී බදු රැස්කරන ලද තවත් ස්ථානයක් ලෙස හම්බන්තොට පිහිටි ගොඩවාය (Goadawaya), වරාය හැඳින්විය හැකිය.  

ශිලා ලේඛනමය වාර්තාවන් ට අනුව ක්‍රි:පූ: දෙවන සියවසේ සිට, ඉඩම් බදු පැවති බවට සාක්ෂි හමුවේ.  එසේම එක්රැස් කර ගන්නා ලද බදු සුවිශේෂී කාර්යයන් සඳහා බෙදාදීම (ප්‍රතිපාදනය කිරීම) පිළිබඳ වාර්තා එම පැරණි ශිලා ලේඛන තුළින් වාර්තා වී ඇත.  එසේ ම නගරයට ධාන්‍ය සැපයීම සඳහා ඒවා ගෙන යන කරත්ත (ගැල්) වලින් නගරයට ඇතුළුවන අවස්ථාවේදී ම අදාල ද්‍රව්‍ය වලින් කොටසක්  බදු වශයෙන් ගෙවිය යුතු වූ අතර මෙසේ රැස්කරගන්නා වූ ද්‍රව්‍ය බෞද්ධ භික්ෂූන් වැඩ සිටි සංඝාවාසවල පිහිටි "මහපොල දාන ශාලා"  වෙත යොමු කෙරිණි.  මුළු රට විදේශ ආක්‍රමණිකයන්ගේ පාලනය යටතට පත්වන තුරු රජවරු විසින් ශ්‍රී ලංකාවේ අවසන් රාජධානිය දක්වා පාලනය ගෙන ගොස් ඇත්තේ කඳුරට සිටය.  1660 වර්ෂයේ නැව මුහුදුබත් වීමෙන් පසුව මෙරටට ගොඩ බැසගත් "රොබට් නොක්ස්"  කන්ද උඩරට සිංහල රජතුමා විසින් අල්ලා ගන්නා ලද අතර සිරභාරයෙන් මිදී පලායන තුරු වසර 20 ක් පමණ දීර්ඝ කාලයක් ඔහු සිරභාරයේ පසු විය.  ඉන් පසුව ඔහු එංගලන්තයට පලා ගිය අතර තමා සිරභාරයට පත්වීමේ සිට සිය අත්දැකීම් පිළිබඳව ලංකාවේ ඵෙතිහාසික සබඳතාවය (Historocal Relation of Ceylon) නමින් වාර්තාවක් සකස් කරමින් වසරකට තෙවතාවක් බදු අය කරන ලද්දේ කෙසේද යන්න පිළිබඳවත් එසේ රැස්කරගන්නා ලද බදු රජුගේ භාණ්ඩාගාරය වෙත යොමු කරන ලද්දේ කෙසේද යන්න පිළිබඳවත් විස්තර කරයි.  'නොක්ස්ගේ'වාර්තාවල ට අනුව, විවිධ අනුප්‍රමාණයන්ගෙන් සමන්විත බදු පැවති බවටත් එම බදු ද්‍රව්‍යයමය වශයෙන් එකතු කළ බවටත් තොරතුරු හෙළි වේ.  එලෙස බදු වශයෙන් එකතු කරන ලද ද්‍රව්‍ය අතර මැණික්, වයින්, ‍තෙල්, බඩඉරිඟු, මීපැණි, ඉටි, රෙදි, යකඩ, දුම්කොළ සහ ඇත්දළ පවා තිබූ බවට සාක්ෂි හමු වේ.      

යම් පුද්ගලයකු මියගිය පසු ගෙවිය යුතු බද්ද මරාළ බද්ද (Marala Badda) නමින් බද්දක් වූ අතර මෙම බද්ද රැස්කිරීමේ කාර්යය සඳහා ම පත් කරන ලද වෙනම නිලධාරියෙක් විය.  බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දී ජනතාවගේ සුභසාධනය පිණිස ජනතාව කෙරෙහි අහිතකර අයුරින් බලපෑ බදු ඉවත් කරන ලද අවස්ථා පැවතිනි.  1882 වසරේදී, ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පැවති වී බද්ද ඉවත් කරන ලදී.  එකී පළාතේ (දිසාපති වාර්තාව, 1882) වී වගාව ප්‍රවර්ධනය කිරීම උදෙසා, වී බද්ද ඉවත් කිරීම එක් පියවරක් විය.  1893 වස‍රේ දී, තිරිඟු පිටි, හාල්, සීනි, දුම්කොළ සහ කපු පුළුන් යනා දී ද්‍රව්‍ය මත බදු අයකරන ලදී. (දිසාපති වාර්තාව 1893, නැගෙනහිර පළාත).  ​

අනුරාධපුර සද්ධාතිස්ස රාජවංශයෙන් මහනුවර රාජධානියේ නරේන්ද්‍රසිංහ රාජවංශය වෙත ඇතැම් ආකාරයේ බදු අය කරන ලද බවට ප්‍රමාණවත් සාක්ෂි පවතී.  මෙම කාලපරිච්ඡේදය තුළ දී, බදුකරණය සහ රජු විසින් තම ජනතාව වෙත සලසන ලද සේවා අතර සෘජු සබඳතාවයක් පැවතිණි.  රජු විසින් ජනතාවගේ ආරක්ෂාව සැලසීම නිසා, භූමියෙන් උපයාගනු ලබන නිෂ්පාදනයන්ගෙන් කොටසක් ලැබීමට රජතුමාට හිමිකම් පැවතිණි.  එසේම, ඉඩම් දැරීමේ කොන්දේසියක් ලෙස සේවය කිරීම සඳහා බැඳීමක් ද පැවතිණි.       ​​

අවසන් වරට යථාවත් කිරීම : 23-05-2015